ලෝක ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව


            වර්තමානයේදී  ලෝකයේ රටවල් බොහොමයක ආර්ථික ගැටළු මතු වෙමින් තිබේ. මෙම ආර්ථික ගැටළු බොහෝමයකට ප්‍රධානතම හේතුව බවට පත්වී ඇත්තේ ඛනිජ තෙල් මිල ඉහල යාමයි.
            තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 110 ඉක්මවා ගොස් තිබේ. ඛනිජ තෙල් ලෝකයේ ක්ෂය වී යන බලශක්තියක් බවට පත්වී ඇත. එය වරක් පාවිච්චි කළහොත් නැවත භාවිතයට ගත නොහැකිය. වර්තමානයේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන තෙල් නිධි තවත් වසර 05ක් තුළ අවසන් වී යනු ඇති බවට මත පළවී ඇත. ඛනිජ තෙල් නිපදවන රටවල් නව නිෂ්පාදන වලට වැඩි මිලක් ලබා ගැනීමේ අරමුණෙන් තෙල් මිල ඉහල දමා ඇති බව පෙනේ. වැඩි වශයෙන් ඛනිජ තෙල් නිපදවන මැද පෙරදිග රටවලට එල්ල වී ඇති ත්‍රස්තවාදී තර්ජන ඛනිජ තෙල් මිල ඉහල යෑමට තවත් හේතුවකි. තවමත් ලොව ප්‍රධාන බලශක්ති මූලාශ්‍රය වන ඛනිජ තෙල් ක්ෂය වී යෑමත් සමඟ වෙනත් විකල්ප බල ශක්ති ප්‍රභවයක් සොයා ගැනීම ලෝකය හමුවේ ඇති අභියෝගයකි.
            ඛනිජ තෙල් මිල ඉහල යෑම වැඩියෙන්ම බලපාන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයටයි. ශ්‍රී ලංකාවේද ප්‍රවාහන වියදම් වැඩි වීමට තෙල් මිල ඉහල යෑම බලපා තිබේ. ලෝකයේ බොහෝ රටවල තෙල් මිල වැඩි වීම පාරිභෝගික භාණ්ඩ වල මිල වේගයෙන් ඉහල යෑමට බලපෑමක් කර ඇත. එම නිසා බොහෝ සංවර්ධිත රටවල මෑත කාලයේ නොතිබූ ලෙස ඉහල උද්ධමනයක් පසු ගිය මාස කිහිපය තුළ දැකගත හැකිය. එමෙන්ම බොහෝ රටවල ආර්ථික වර්ධන වේගය පහත වැටීමට මෙම තත්වය බලපා ඇත.
            ඕනෑම ආර්ථික තත්ත්වයක් ගැන සලකා බැලීමේදී ආර්ථිකයේ මූලික අවශ්‍යතාවයක් ලෙස ආහාර හඳුනාගත හැකිය. ආහාර නිෂ්පාදනයේදී භූමිය වැදගත් සාධකයකි. ආහාර නිෂ්පාදනයේදී භාවිතයට ගැනෙනුයේ වගා කළ හැකි භූමියයි. දේශගුණික හා භූගෝලීය වෙනස්කම් නිසා වගා කළ හැකි භූමි ප්‍රමාණය අඩු වැඩි විය හැකිය. වර්තමාන දේශගුණික තත්ත්වයන් ගැන සලකා බැලීමේදී ගෝලීය උෂ්ණත්වය ඉහල යාමක් දැකගත හැකිය. ගෝලීය උෂ්ණත්වය වැඩි වීමෙන් උත්තරධ්‍රැව සහ දක්ෂිණධ්‍රැව වල අයිස් තට්ටු දිය වීම නිසා සාගර ජල මට්ටම ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. එම නිසා ශ්‍රී ලංකාවේත් ලෝකයේ වෙනත් රටවලත් මුහුදු ආසන්න භූමිය ජලයෙන් යටවීමේ අවදානමක් පවතී. ශ්‍රී ලංකාවද දූපතක් බැවින් එම අවදානම පවතී. ලංකාවේ යාපන අර්ධ ද්වීපය ඉදිරි වසර 40ක කාලය ඇතුළත මුහුදු ජලයෙන් යටවීමට ඉඩ ඇති බව විද්‍යාඥයන් පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනෙක් මුහුදු බඩ ප්‍රදේශ ඉදිරි කාලය තුළ සාගර ජලයෙන් යටවී යෑමට ඉඩකඩ පවතී. මෙහිදී මතුවන ගැටළුව නම් කෘෂිකර්මයට සහ නිවාස, වෙනත් ගොඩනැඟිලි සහ කර්මාන්තයන්ට අවශ්‍යවන භූමිය හිඟ වීමයි. කෘෂිකර්මය යොදා ගැනීමට ඇති භූමිය සාගරයට යටවූ විට ආහාර නිෂ්පාදනයෙහි හිඟයක් ඇති වේ. එමෙන්ම නිවාස හා ගොඩනැඟිලි තැනීමට අවශ්‍ය ඉඩම් වල හිඟයන් ඇති වේ. එම නිසා මේ තත්ත්වය රජයේ ආර්ථිකයට සෘජුවම අහිතකර ලෙස බලපායි.
            පසුගිය මාස කිහිපය තුළ නියඟය වැනි හේතු නිසා තිරිඟු අස්වැන්න අඩුවිය. එම නිසා පිටි මිල සීග්‍රයෙන් වැඩි වීම පසු ගිය කාලයේ දැකගත හැකි විය. එමෙන්ම පසුගිය කාලයේ කිරිපිටි මිල වැඩිවීම් වලට නියඟය වැනි ස්වභාවික උවදුරු හේතු වී ඇත.
            එමෙන්ම ලෝක වෙලඳපොලේ සහල් මිල ඉහල ගිය බව පෙනීයයි. ලෝක මට්ටමේ මෙවැනි වෙනස්වීම් නිසා ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ යාමට එය හේතු විය. ලෝකයේ ආර්ථික වෙනස්වීම් ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් ඇති රටකට බලපාන ආකාරය මින් පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 1500ත් 1600ත් අතර අගයක් ගනී. එසේ වුවද සමාජයේ විශාල කොටසක් අඩු ආදායම් ලබන තත්ත්වයක සිටී. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රජය ආරම්භ කළ මහා පරිමාණ සංවර්ධන වැඩසටහන සහ රාජ්‍ය ආයෝජනවල වැඩිවීම නිසා රාජ්‍ය වියදම් ඉහල ගොස් ඇත. එම නිසා රට තුළ මුදල් සංසරණය වැඩි වී උද්ධමන වේගය ඉහල ගොස් ඇත. 2007 ශ්‍රී ලංකා හ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය 15%ක පමණ අගයක් ගන්නේය. එමෙන්ම සේවා වියුක්තිය 6% දක්වා අඩු වී ඇත. එය යහපත් ප්‍රවණතාවක් ලෙස හඳුනාගත හැකිය.
            මේ වන විට රට තුළ යුධමය තත්ත්වයක් ඇති වී තිබේ. එසේ වුවත් නැගෙනහිර පළාතෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම නිසා එම පළාත්වල ආර්ථික කටයුතුවල දියුණුවක් දක්නට ඇත. එය රටේ ආර්ථිකයට යහපත් ලෙස බලපාන බව පෙනීයයි. ලෝක ආර්ථිකයේ සිදුවන අහිතකර වෙනස්වීම් වල බලපෑම අවම කිරීමට නම් ලංකාව තුළ ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කළ යුතුය. එමෙන්ම අනෙක් රටවල් මත අප රටේ ආර්ථිකය රඳා පැවතීමේ ප්‍රවණතාව අඩු කළ යුතුය.
රජීව් ප්‍රසංග කෝරළගේ

No comments:

Post a Comment