අපිතරමාමානං ඵලාසාව සමිජ්ඣති
(යුහුසුලු නොවන්නහු ගේ බලාපොරොත්තුව සිදුවේ.)
බලාපොරොත්තු
ඉබේ සිදු වන්නේ නැත. හැම දේයකටම හේතු ප්‍රත්‍යය වුවමනා වන්නාක් මෙන් බලාපොරොත්තු
මුදුන් පැමිණෙන්නේත් යම් යම් හේතු ප්‍රත්‍යයන්
නිසාමය. ඇතැම් විට ඇතැම් බලාපොරොත්තු වැඩි ආයාසයක් වෑයමක් නැතිවම සිතු සේම
සිදුවෙති. තවත් සමහර බලාපොරොත්තු සඳහා මහත් උත්සාහයක් දැරිය යුතුවා සේ පෙනේ. ඇතැම්
බලාපොරොත්තු කොතෙක් උත්සාහ දරතත් සදුපායයන් යොදතත් නොසිදු වෙති. කෙසේ වෙතත්
ඉවසීමෙන් සැනසීම ලැබේ යැයි කීවාක් මෙන් යුහුසුලු නොවීම, ඉක්මන් නොවීම, බලාපොරොත්තු
මුදුන් පමුණුවා ගැනීමේ එක් හොඳම මගෙකි. ඇතැම් විට ඉක්මන්කම නිසා බලාපොරොත්තු
සුන්වී යන හැටි අසන්නට දකින්නට ලැබේ.
යුහුසුලු
නොවන්නා බොහෝවිට කල් ගොසින් නමුත් අභිමතාර්ථය සිදුකර ගනී. යුහුසුලු නොවීමම ප්‍රමාණ
නොවන බවත් අප විසින් සිත තබා ගත යුතුය. යුහුසුලු නොවන ගමනේ සියල්ල ඉබේ සිදුවන
හැටියට සළකා ගෙන අලසවද සිටිය යුතුය. අප්‍රතිහත ධෛර්යයකින් හා මහත් වෑයමකින්
බලාපොරොත්තුව ලැබෙන තෙක්ම නැවත නැවත වීර්යාරම්භ කල යුතුය. මඟ නොරැදී ඉදිරියට ම යා
යුතුය. එසේ උත්සාහ දරා වැඩ වැරදුනත්, බලාපොරොත්තුව සිදු නොවුනත් අපහාසයක් නැත.
පෞරුෂයකින් ක්‍රියා කළ නිසා පසුතැවිල්ලක්
නැත. අනුනටද අප හොඳම ආදර්ශයක්, පාඩමක් වනු නොඅනුමානය.
(සිතිවිලි සියය)
අපදාන සොභිනි පඤ්ඤා
(උගත්කම චරිතයෙන් බබළයි.)
දැනීම
හෙවත් නුවණ මිනිසෙකුට ඇති උසස්ම වස්තුව හැටියට සැලකිය හැකිය. සැලකිය යුතුය. හැම
සතුන් අතරම මිනිසා ම උසස් ය. උතුම් ය. ඔහු උසස් වන්නේ, උතුම් වන්නේ වැටහෙන නුවණ
ඇති, දැනුමෙන් යුතු කෙනෙකු නිසා ය. දැනුමෙන් හීනවෙත්ම මිනිසා තිරිසනාට ළංවේයැයි කීම
වරදද? චිම්පන්සි, ගරිල්ලා, ඔරං ඔටං, අලියා, වඳුරා, යන ආදී ඇතැම් තිරිසනුන්
ඇතැම්විට දැනුමැති බවක් දක්වතත් මිනිසාට ඇති වැටහෙන නුවණ, උසස් බුද්ධිය ඔවුන්ට
නැත. මිනිසාට ඇත්තේ දියුණු කළ හැකි සිතෙකි. ඔහුට බුද්ධියේ පරම කෝටියට ඉහළම කොනට
වූවත් යා හැකිය.
බුද්ධිය
කොතරම් දියුණු වූවත් මිනිසාට චරිතයක් හෙවත් ධර්මයක් නැත්නම් ඒ යුද්ධය බිහිසුණුය.
බුද්ධිය නපුරට හැරුණොත් ඉන් වන අවැඩ අපමණය. මනුෂ්‍ය සංහතියටම අපරාධයක්, නපුරක්
ලේසියෙන්ම කළ හැකිය. අද ලෝකයේ බාහිර දැනුමෙන්, විද්‍යා ඥානයෙන් දියුණු වීමට,
බුද්ධිය තරකර ගැනීමට කොතෙකුත් ඉඩ කඩ ඇති බව පෙනේ. විශාරදයන්ව වැජඹෙන උගතුන්ද
රැසෙකි. එහෙත් සමාජය ගුණ දහම් අතින් පිරිහෙන්නේ දැනීමත් සමඟ ගුණ දහම් පුරුදු
පුහුණු කිරීමක් නොවන නිසාය. ඇතුළතින් සෑහෙන පමණට දියුණු නොවී බාහිර දෑ දියුණු
කිරීම සමාජ දියුණුවක් නොවේ.
එහෙයින්
නොවරදවාම දැනීමත් සමඟ චරිතයත්, ධර්මයක් ඇතිවිය යුත්තේමය. දැනීම බබලන්නේ චරිතයෙනි.
ගුණ ධර්මයෙන් මිනිසෙකුගේ බුද්ධිය පාලනය වෙයි. නොමඟ නොයා ද රැක ගනියි. ගුණ දහමින්
පෝෂිත වූ මිනිසා ඔහුගේ දැනීම අනුන්ගේ යහපත පිණිස මිස නපුර පිණිස නොයොදයි. එයම
ආශිර්වාදයෙකි.
(සිතිවිලි සියය)
නමො නමත්තස්ස
(ආචාර කරන්නහුට ආචාර කරනු.)
මේ පැරණි කීම සමාජයක වෙසෙන්නවුන් විසින් පිළිපැදිය
යුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආචාර කිරීම උසස් වැදගත් හැදිල්ලකින් බිහිවුණු
සිරිතකි. කෙනෙකුට කෙනෙකු ආචාර කරන්නේ දීන බවක් පහත් බවක් හෙළි කිරීමට නොවේ. සමාජ
සිරිතක් වශයෙනි. එහෙයින් ආචාරය ලබන්නවුන් විසින් ද ප්‍රත්‍යාචාර කිරීම කළ යුතුය.
හමුදාවක අණ දෙන නිලධාරියා හෝ වෙනත් උසස් නිලධාරියෙකු හෝ භටයන්ගේ ආචාරය පිළිගන්නේ
ප්‍රත්‍යාචාර කිරීමෙනි.
එක්
එක් රටවල මිනිසුන් අතර පැවත එන මේ ආචාර කිරීමේ සිරිත විවිධය. සමාන නැත. රුසියානුන්
එක් අයුරෙකින් ද, චීන ජපන් අය තව ලෙසකින් ද, ආර්යයන් තව ලෙසකින් ද, ආචාර සමාචාර කෙරෙති. ආර්යයන් අතර වුව ද එය එක ලෙසකින්ම
සිදු නොවේ. එහෙත් ආචාර කරන්නා කවර තරාතිරමේ කෙනෙකු වුව ද එය පිළිගන්නවුන් විසින් ද
ප්‍රත්‍යාචාර කිරීම වැදගත් සිරිතෙකි. භික්ෂූන් වහහහන්සේ නමකට ආචාර කරන්නවුන්ට ඒ
ආචාරය ලබන භික්ෂුව ළය පිරුණ කරුණාවෙන් සුවපත් වේවායි කියමින් කරන්නේ ආචාර
කිරීමෙකි. ආචාරයට සැළකීමෙකි. භික්ෂූන් වහන්සේ නමක් තමහට ආචාර කරන ගිහියාට හෝ
පැවිද්දාට හෝ ඉතා සැළකිල්ලෙන් සෙත් පතන්නේ එය උසස් වැදගත් සිරිතක් නිසාය. ඉතින් ඒ
ආචාරය ආදරයෙන් පිළිගෙන සෙත් පැතීම සකසා නොකරොතොත් එය මානය හෙවත් තමන්ගේ ලොකුව හෙළි
කිරීමෙකි. එහෙයින් මේ ආචාර සමාචාර සමාජයක ඉතාම මැනවින් හොඳ සිතෙන් සිදුවිය
යුත්තෙකි. එවිටය මිනිසුන් ඔවුනොවුනට දයාවෙන් බැඳෙන්නේ, සහාය වන්නේ. ආචාර කරන්නෝ පොඩ්ඩෝය, එය ලබන්නෝ ලොක්කෝය යන මේ වැරදි හැඟීම් ඇති තෙක් සමාජයක්
පොදුවේ දියුණු වන්නේ නැත.
(සිතිවිලි සියය)
නමන්ති ඵලිනො වෘක්ෂා:
(ඵල ඇති ගස් නැමෙති.)
ගස් දෙස බලන විට ගෙඩි සහිත අතු පල
බරින් නැමී පහත්ව පවත්නා සැටිත් ඵල රහිත අතු එසේ නොනැමී සිටිනා සැටිත් දැක්ක
හැකිය. සමාජය දෙස බලන විටද මේ පැවැත්ම දැක්ක හැකි වෙනවා ඇත. යමක් ඇති මිනිසා
නිහතමානීව යටහත් පහත් පැවතුම් ඇතිව කල් ගෙවයි. කිසිවක් නැති මිනිසා දළදඬු ලෙස
අවිනීතව ක්‍රියා කෙරෙයි. තැන්පත් බුද්ධියක් ඇති දැන උගත්කම් ඇති ගුණ දහමින් පෝෂණය
වුණ මිනිසා ඔහුගේ වියත්කම්, ගුණවත්කම්, හෙළි කරන්නට මැළිවෙයි. නිහතමානව කල් ගෙවයි.
නියම ධනවතාත් උදම් වී නිර්ධනයෙන් නොපෙළෙයි. නියම ප්‍රභූවරයා ප්‍රභූත්වයෙන්,
පුළුවන්කාරකමින් මත් නොවී අහිංසකයෙකු මෙන් දිවි ගෙවයි. අවශ්‍ය තැනකදී හැකියාව හෙළි
කෙරෙයි. එහෙත් ටිකක් උගත්, සුළු ධනයක් හිමි වූ හදිසියෙන් පුළුවන්කාරයෙකු වූ ඇතැම්
අය තුළදීත් කිසිවත් නැති නිකමුන් ළඟදීත් ඒ උදාර ගුණය විනීත පැවැත්ම දැක්ක නොහැකිය.
මෙය අභාග්‍යයකි.
එබැවින් කවර කාරණයක් වුවද අතිමානීවීම,
ඉහළින් සිතා ගැනීම දියුණුවේ මගක් නොව පිරිහීමේ මගක් බව සිතා ගෙන ක්‍රියා කිරීම ම
මැනවි. මහ ගංඟාවන් නිහඬව ශාන්තව ගලා බස්නා සැටිත්, සුළු දිය පාරවල් මහත් සේ ඝෝෂා
කරමින් ගලා යන සැටිත් බලන්න. මානය පුහු දෙයකි. වාත පුෂ්පයක් මෙන් හිස්ය. නීරසය.
(සිතිවිලි සියය)
අත්තාන මෙව පඨමං පතිරූපෙ නිවෙසයො
(පළමුව තමාම සුදුසු ගුණයෙහි පිහිටු විය යුතු.)
අනුනට අනුශාසනා කරන්නට පෙර තමන් සුදුසු ගුණ
දහම්හි පිහිටු වීම සුදුසු බව මේ පාඨයෙන් අදහස් කෙරේ. එය එසේමය. සෙස්සන්ට අවවාද
අනුශාසනා කරන්නට ඉදිරිපත්වන්නවුන් හැකිතරම් ප්‍රතිපත්තියෙහි පිහිටීම ඉතා මැනවි.
තමා ගුණයෙහි නොපිහිටා අනුන්ට අවවාද කිරීම නිසා නියම ඵල විපාක නොලැබීමට හැකිය. ඔවා
දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට යන මේ ලෝකෝපකාර ගී දෙපදෙන්ද මේ කාරණයම
හෙලිවෙයි. තෙමේ ගුණ දහම්හි නොපිහිටා ගුණදම් වඩන මෙන් අනුනට අනුශාසනා කිරීම වැද්දන්
දෙසන බණ වැනියැයි පැරැන්නෝ කීහ.
සුරා බොන්නන් සුරාවේ ආදීනව කියා
පාමින් අනුනට නොබොන ලෙස කරන අවවාදයත්, දුසිරිතෙහි යෙදෙමින් සුචරිතය ගැන ඔවදන්
දීමත් විහිළුවෙකි. එබැවින් හැකි පමණින් තමන් සුදුසු ගුණයෙහි පිහිටා කරන අනුශාසනය
වඩාත් වැඩදායක බවත් එබඳු අවවාදයට වැඩි දෙනා කැමති වන බවත් තේරුම් ගැනීම මැනවි.
උදාර ගති ඇත්තෝ නම් කාගෙන් වුවද ලැබෙන හොඳ අවවාදය පිළිගෙන සිය ජීවිතය සකස්කර
ගනිති. ඔවුහු කාගෙන් කොහෙන් වුවද ලැබෙන හොඳ පිළිගනිති. අනුශාසනය කරන්නා කවරෙකු
වුවද ගත යුතු හරය ගෙන ඉන් වැඩ ගැනීම දියුණුව කැමති නුවණැතියාගේ සිරිතයි. ඔහු
අනුශාසකයා විවේචනය කරන්නට නොගොස් ඒ උපදෙසින් හොඳ වන්නට වෑයම් කරනුවා ඇත. ඉතින්
අනුශාසනය මෙන්ම අනුශාසකයාත් හොඳ නම් එහි කවෙර අඩුවෙක්ද?
(සිතිවිලි සියය)
දුල්ලභො අඬ්ග සම්පන්නො
(අංග සම්පූර්ණ අය දුර්ලභ ය.)
හැම
කරුණෙකින්ම සම්පූර්ණ වූ, හැම අතින්ම හොඳ කෙනෙකු සොයා ගැනීම ඉතාම අසීරු බව කවුරුත්
පිළිගනිති. “නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත.” යන කව් පදයෙනුත් ඒ බව ඔප්පු වේ. හැම මිනිසා ළඟම හොඳ නරක
දෙකම මිශ්‍රව පවත්නා බව තේරුම් ගත මැනවි. සර්ව නිර්දෝෂ මිනිසුන් සොයාගත නොහැක්කාක්
මෙන් ම සියයට සියයක් ම නරක නපුරු, වැඩකට ගත නොහැකි මිනිසුන් ය කියා කොන් කළ හැකි
පිරිසක් ද සොයා ගත නොහැකි බව තේරුම් ගත මැනවි. ඇතැමුන් ළඟ වැඩියක් බලපාන්නේ යහපත්
ගුණය. තවත් කෙනෙකුන් ළඟ වඩාත් බලපාන්නේ නපුරු නරක ගතිමය. එහෙත් කිසිම මිනිසෙකු
පාපිශ්ඨයෙක්ය කියා කොන් කිරීම නොමැනවි. හොඳ මිනිසා ළඟද ටිකක් නමුත් සගුණ ඇතිවිය
හැක්කාක් මෙන් ම ඉතාම නරක පුද්ගලයා තුළ ද ගුණ ලවයක්වත් තිබිය හැකිය. නරක නපුරු දෑ
ඉවතලා හොඳ දෑ මතු කර ගැන්මය අප සතු යුතුකම. හැම ගුණයක්ම එක මිනිසෙකුගෙන්
බලාපොරොත්තු නොවිය හැකිය.
ලෝකයේ
පුහුදුන් මිනිසුන් අතර අංග සම්පූර්ණ අය විරල බව පිළිගත යුතු බව ඇත්තෙකි. එහෙත්
උත්සාහ දරතොත් තමා ළඟ ඇති නරක දුරුකොට, නැති හොඳ ලංකරගෙන බොහෝ දුරට අංග සම්පූර්ණ
කෙනෙකු වන්නට ඉඩ ඇති බවද සලකනු මැනවි.
(සිතිවිලි සියය)
No comments:
Post a Comment