මේ කොයි යන්නේ


මේ කොයි යන්නේ...

                        අද කාලේ මුළුතැන්ගෙය ගොඩක් නම් වලින් හඳුන්වනවනෙ. අපි ඉස්සර කිවුවෙ කුස්සිය කියලා. දැන්නම් චිකන්ද කිචන්ද ලු නෙ. හැබැයි ඔන්න ඉංගිරිසි පන්නෙට කොහොම කිවුවත් ඕකෙන් සිද්ද වෙන්නෙ එකම දෙයයි. කාට කාටත් බඩගිනි වුනාම මොන මොනව හරි කටට දාගෙන සප්පායම් වෙන්න නම් ඔය කුස්සිය තියෙන්න එපායැ.
                        
ඒ කාලෙ කුස්සියට තිබුණේ ලොකු වැදගත් තැනක්. අපේ කාලෙ නම් කුස්සිය තිබුණෙ ගෙයි පිටිපස්සට වෙන්න. ලිප් ගල් තුන උඩ තමයි මඟුල් ගෙයක් උනත් පිරිමහ ගත්තෙ. හොඳට ඉර එළිය වැටෙන විදිහට කවුළු තියලයි අපේ කුස්සි තිබුණෙ. ඒත් දැන් නම් ඔය රූප පෙට්ටියේ පෙන්නන ලොකු බංගලාවල කුස්සිය තියෙන්නෙ සාලෙමනෙ. ගෙට එන්නෙ කා කියාගෙන නිසා ඒකත් නරකම නෑ කියලයි මටත් හිතෙන්නෙ.
                        
අපේ කාලෙ නම් කුස්සිය කිවුවම ඉතින් ඒක හරිම සිරියාවන්ත තැනක්නෙ. හැම දේම පිළිවෙළයි, පිරිසිදුයි. බිමට ගොම මැටි ගාලා, මැටියෙන් ලිප් ගල් බැඳලා. හාල් තුනපහ ධාන්‍ය ජාති තියන්න වෙන වෙනම ලොකු මැටි මුට්ටි, හට්ටි. උඩහල්ලෙ තමයි සමහරක් කෑම ජාති තියාගත්තෙ. අද වගේ සීත පෙට්ටි තිබුණෙ නෑ ඒ කාලෙ. අද නම් සීත පෙට්ටි ඇතුළෙ මාස ගණන් සත්තු වත්තක් තියාගන්නවනෙ. දවස් ගණන් උයපු කෑම ජාති, පොල්කිරි ටික පවා අද ලේසියට ඔය මොකද්ද පෙට්ටියටනෙ දාන්නෙ. ඉතින් පොඩි එවුන්ට ලෙඩ නොහැදි තියේවිද? අනේ කිරි සප්පයන්ට දෙයියන්ගෙම පිහිටයි.
                        
එදා අපි ඉවුවෙ දර ලිපේ. හොඳට ගින්දර දාලා හෙමි හෙමින් තම්බලා පැහෙන්න ඇරලා පොල් කටු හැන්දෙන් හොද්ද හැඳි ගාලා තමයි රසට ඉවුවෙ. අද ඉතින් ඔක්කොම එක භාජනේ නෙ. පැය භාගෙන් කෑම මේසෙට. හැබැයි ඉතින් ඕකෙ රස ගුණ නම්... අනේ මන්දා.
                        
උයපු ලිප අස්කරලා කුස්සිය හොඳට සුද්ද බුද්ද කරලා තමයි අපි රෑට පැදුරට වැටෙන්නෙ. ඒත් අද අම්මලාට...? ඒ ගොල්ලන්ට ඊට වැඩිය වැඩ තියෙනවනෙ රෑ එළිවෙන තුරු රූප පෙට්ටිය ළඟ. කුස්සිය ටයිල් කරලා තිබුණට වැඩක් නෑ පුංචි එවුන් බඩගින්නෙ නම්...
                        
ඉස්සර අපිට වලං හෝදලා නවන්න ඉර එළිය හොඳට වැටෙන තැනක ගෙයි පිළිකන්නෙ තිබුණා ලොකු දර මැස්සක්. ඒකට වැටෙන ඉර එළිය හොඳ විෂ බීජ නාශකයක්. අපි ඉවුවෙම මැටි හට්ටිවල. කිසිම වසක් විසක් තිබුණෙ නෑ ඒවයෙ. අද අම්මලාට ගෑස් නැති වුණොත් කරන්ට් නැති වුණොත් එදාට කඩෙන් තමා සප්පායම් වෙන්න වෙන්නෙ. පුංචි එවුන්ට ගිලින්න වෙන්නෙ පිටි ගුලි.
                        
කුස්සියෙන් එලියට දාන කිසිම දෙයක් අපි අහක දැම්මෙ නෑ. මාළු හෝදපු වතුර කරපිංචා පැලේට එළවළු හෝදපු වතුර එළවළු පැලවලට. ඒ එළවළු කාපු නිසා තමයි අදටත් අපි නිරෝගීව ඉන්නෙ. ඒත් අද නම් ඒ සාරවත් වතුර යන්නෙ පොළව යට තියෙන ලොකු වලවල් වලට. උයලා ඉතුරු වෙන කුණු පරිස්සමට පොහොර කර ගන්න ක්‍රමේකුත් තිබුණා. දැන් නම් නෝනලට සිරි සිරි බෑග් පිස්සුවනෙ. උදේට පාරෙ යන්න බෑ ගන්දස්සාරෙ. තඩි කාර් වලින් එන ලොකු මහත්තුරු ගෙදර කුණු බෑග් එක අතාරින්නෙ දාහක් සෙනග ගැවසෙන මහ මග. ඒ මදිවට තාප්පෙ කුණු බෑග් එල්ලලා. අනේ අනිච්චං රටකට ගිය කල... උදේ පාන්දර අපි නම් ගෙපිලෙ තිබ්බා පොඩි මැටි භාජනේකට පිච්ච මල් වතුරෙ දාලා. ගෙට එන ඇත්තො හරිම පිරියෙන් එන්නෙ. ඒත් දැන්: අතින් නාහෙ වහගෙනයි එන්න වෙලා තියෙන්නෙ.
                        
ගෝලීයකරණෙද මොකක්ද කියන එක නිසා අද කොච්චර නස්පැත්ති වෙනවද? දැන්වත් ඇහැරිලා බැලුවොත් මොනතරම් හොඳද? කුස්සිය ටයිල් කරලා සරුව පිත්තල බඩු තියලා ලස්සනට තියාගෙන උන්නට වැඩක් නෑ. එදා කුස්සියෙන් සිද්ද වුණ සේවෙයි අද සිද්ද වෙන සේවෙයි එකමයි කියලා සමහරු තර්ක කරාවි. මොකද බඩකට පුරවගන්න මිනිස්සු විතරනෙ හුඟක්ම ඉන්නෙ. ඒත් බඩකට පුරවගන්න අතරෙ මනසත් හිතත් පුරවගන්න පුළුවන්නම් කොච්චර හොඳද? නැද්ද මං අහන්නෙ...
                                                                                    ගාල්ලෙ අත්තම්මා

No comments:

Post a Comment