තාරුණ්‍ය හා ප්‍රේමය

තාරුණ්‍යය හා ප්‍රේමය
                       
                        ප්‍රේමය යන වදන ඇසෙත් ම අප මනසට නැඟෙන්නේ තරුණයෙකු හා තරුණියක එකිනෙකාට කරනු ලබන ප්‍රේමයයි. නමුත් ප්‍රේමය යන්නට බහු අරුත් ඇති බවද අප අමතක නොකළ යුතු කරුණකි.
            
ආදරය, සෙනෙහස යන වදන් වලින් වියත්හු මෙම ප්‍රේමය හඳුන්වා  දී තිබේ. ප්‍රේමය යන වදන තුළ මව්පියන් දරුවන් කෙරෙහි දක්වන සෙනෙහස, ආදරය වැනි වූ තත්ත්වයන් ද ඇතුලත් ය. ප්‍රේම කරන්නේ මිනිසුන් පමණක් නොව සත්ත්වයන්ට ද මෙම ප්‍රේමය පොදුය. මෙම සෙනෙහස යන වදන තුළ ඉතා ගැඹුරු අරුතක් පවතින බව ද අමතක නොකළ යුතු ය. මව්පියන් තම දරුවන්ට කරදරයක් හිරිහැරයක් සිදුවන අවස්ථාවලදී නැගී සිටීමට මැලි නොවේ. මින් අපට පැහැදිලි වන්නේ සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට හෝ සත්ත්වයෙකුට වුව ද ප්‍රේමය, ආදරය අවශ්‍ය වන බවය. තාරුණ්‍යයේ ප්‍රේමය යන්න ඇතැම් වැඩිහිටියන් පිළිගනු ලබන්නේ සමාජීය අවමානයක් වශයෙනි. මෙම ප්‍රේමය නිවැරදි ලෙස අවබෝධ කර නොගැනීම නිසා තහනම් ගසේ ගෙඩි කෑවා වැනි අවස්ථාවන් ද උදා වන බව රහසක් නොවේ.
                        
තාරුණ්‍යයේ ප්‍රේමය සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ වයස අවුරුදු 15,16 අතර වන කාලයේදී ය. ජීවිතයේ සුන්දර පාසල් අවධිය තුළ පෙම්වතුන් පෙම්වතියන් බවට පත්වන අය බොහෝ ය. සොඳුරු පාසල් අවධියේදී ඇරඹෙන ප්‍රේමය බොහෝ වැඩිහිටියන් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ දරුවන් එමඟින් ජීවිතාවබෝධය නොලබන බැවිනි.
                        
කෙසේ වුව ද ප්‍රේමය තාරුණ්‍යයට අත්‍යාවශ්‍ය මානසික සහනයක් බවද විද්වත් මතයයි. බොහෝ විට සමාජයේ අනාදරයට ලක්වූ පිරිස් ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ගෙන් සෙනෙහස බලාපොරොත්තු වේ. ප්‍රේමයට වයස් සීමාවක් නැත. තරුණ බාල මහළු වැඩිහිටි සැමටම ප්‍රේමය පොදුය. ප්‍රේමයේ විවිධ ස්වරූපයන් වටහා ගැනීම අසීරු කරුණකි. ප්‍රේමය නිසා ජීවිතය පිදූ බොහෝ පෙම්වතුන් අද අමරණීයව සිටී. තාරුණ්‍යයේ සුන්දර ප්‍රේමය අසුන්දර කර නොගත යුතුය. ප්‍රේමයෙන් ජීවිතය ජය ගන්නවුන් මෙන්ම ජීවිතය අඳුරු කරගත්තවුන්ද සමාජයේ දී අපට මුණ ගැසේ.
                        
වර්තමානයේ ප්‍රේමය හා ආදරය දැඩි ලෙස වාණීජකරණය වී ඇති අතර යුරෝපයේ ප්‍රචලිත වැලන්ටයින් දිනය ආසියාතික සමාජය ආක්‍රමණය කර ඇති අයුරු මාධ්‍ය තුළින් නොයෙක් විට දක්නට ලැබේ. ප්‍රේමය පිළිබඳව ඉතා තාවකාලික හැඟීම් වලට වහල් වී තම සියලු සම්පත් මෙන් ම ජීවිතය ද වැලන්ටයින් ව්‍යාපාරිකයන් වෙත පුද කරන තරුණ පිරිස් අපට දක්නට ලැබෙන්නේ ඉහත වටපිටාව සමාජය විසින් නිර්මාණය වීමට ඉඩ හැර ඇති බැවිනි.
                        
අනාදිමත් කාලයක් තිස්සේ ජීවයේ සම්භවය තුළ ගොඩනැගුණු ප්‍රේමය නම් වූ  ඉතා සුන්දර දාර්ශනික සංසිද්ධිය වටහා නොගෙන සොඳුරු හදවත් අඳුරු කරනොගැනීමට තාරුණ්‍යය මෙහෙය වීමට වැඩිහිටි සමාජය සතු වගකීම අවධාරණය කළ යුතු වන්නේ එබැවිනි.
                                                                                                                        ඩිෂාන් ලියනගේ

No comments:

Post a Comment