තනි වූ සොයුරා...
දකිනා විටෙක නිල්වන් ජල තරඟ කඳ.
නිවෙනා බවක් දැණුනේ නැත සසල හද.
වසනා නිවෙස සෝ සුසුමන් දැනෙන වද.
සිටිනා තැනක නුඹ යහතින් සිටින වද.
වසනා තුරා සසරේ දුරු කතර සරා.
අගනා සොයුරු පෙම හදවත් මැඳුර දරා.
යැවෙනා ගමන කෙළවර මොක් සුවය කරා.
දෙදෙනා එක්ව යමු පැතුමන් මෙලෙස පුරා.
එක දින එකම නැකතින් දිවි උරුම ගෙන.
මාපිය සෙනෙහසින් සමතැන් ලබා ගෙන.
දිවි අරුණැල්ල නෙතු අභියස පෙනෙන තැන.
නැවතුම් තිත තැබිණි පින් මඳ නිසා වෙන.
පතාගෙන ආ ලෙසින් සසරේ - එකම මව්කුස ඉපදිලා.
එක්ව හිඳිනට වරම් නැතිවද - සොයුර ඔබ අද වෙන් වෙලා.
බසින මළහිරු දකින යාමේ - නිසල වෙරළේ තනිවෙලා.
පසක් කෙරුවෙමි සසර දුක්බව - දෙනෙත කඳුලැල් පිසහෙලා.
ඉන්දික
හිරිමුතුගොඩ
No comments:
Post a Comment