සීගිරිය

නිල්කට්රොළ් මලෙකැ - ඇවුණු වැට්කොළ් මල සෙය්
සැන්දැගැ සිහිවෙන්නෙයි - මහනෙල් වන් හය් රන්වනුන්

                        සිතුවම් වූ කලී කාගේ වුවද නෙත් සිත් ඇද බැඳ ගන්නා වූ සංවේදී විෂය ක්ෂේත්‍රයකි. ලාංකේය සිතුවම් කලාව අතුරෙන් ප්‍රමුඛස්ථානයේ ලා සැලකිය හැකි සිතුවම් නිර්මාණ රාශියක් දක්නට ලැබෙන ලෝක ප්‍රසිද්ධියට පත් අපූර්වතම නිර්මාණය සීගිරියයි.

සීගිරි සිතුවම් ලාංකේය චිත්‍රකලා ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පැරණි දේශීය චිත්‍ර අතුරෙන් නිශ්චිත වශයෙන් කාල නිර්ණය කළ හැකි වීම මෙම චිත්‍ර අධ්‍යයනයෙහි ලා වැදගත්වන සාධකයකි. දැනට සීගිරිය පිළිබඳ ඓතිහාසික උරුමය මධ්‍ය ශිලා යුගය තෙක් ගමන් කරයි.
                        
ක්‍රි:පු: 3000 පමණ වන විට මෙම ස්ථානය ජනාවාස වී පැවති බව අනාවරණය වී ඇත. ක්‍රි:පු: 312 සියවස් වල මෙහි ලෙන්වල භික්ෂූන් වහන්සේලා වාසය කළ බව හමුවී තිබෙන බ්‍රාහ්මී ලිපි වලින් සනාථ වේ. ක්‍රි:ව: 01 වැනි සියවසෙන් පමණ පසුව සීගිරියේ ප්‍රධාන ඉදිකිරීම් නැවත ආරම්භවන්නේ ක්‍රි:ව: 05 වැනි සියවසේදී ය. පළමුවැනි කාශ්‍යප රජු විසින් සීගිරිය යුද්ධ විෂයක රාජධානියක් ලෙස හඳුන්වා දෙයි. ඉදිකිරීමට පෙර එය චේත පබ්බත නමින් හැඳින්වුණ බවට තොරතුරු හමුවේ. ක්‍රි:ව: 477-495 අතර අලොස් අවුරුදු කාල පරිච්ඡේදය තුළ සීගිරිය රාජධානියක්ව පැවතුණි. මුගලන් බලය ලබා ගත් පසු අනුරාධපුරය සිය රාජධානිය කරගත් අතර සීගිරිය මහායාන භික්ෂූන් වහන්සේලා අතට පත්වෙයි.
                        
සීගිරියේ භාවිත චිත්‍ර සම්ප්‍රදාය පිළිබඳ අදහස් දක්වන H.C.P. Bell – E.B. Hawell – H.G. Rollinsen ආදී අපරදිග විද්වතුන් දක්වා ඇති මතවලින් ප්‍රකාශ වන්නේ එම චිත්‍ර භාරතීය අජන්තා චිත්‍ර සම්ප්‍රදායට අයත් ලක්ෂණවලින් සමන්විත බවය. ආනන්ද කුමාරස්වාමි, සීගිරි චිත්‍ර අජන්තා සම්ප්‍රදායට අයත් වුවද ඒවා ලාංකේය ශිල්පීන්ගේ කෘති ලෙස සලකයි. එම මතයට ගරු කරන්නන් අතර සෙනරත් පරණවිතාන, එස්.ඒ. වික්‍රමසිංහ, ඩී.බී. ධනපාල වැන්නවුන් වෙති.
                        
චිත්‍රකරණය සඳහා භාවිත තාක්ෂණය හා ශිල්ප ක්‍රම නිසා සීගිරි චිත්‍ර දීර්ඝ කාලයක් සුරක්ෂිතව පැවතුණි. පර්වත පාර්ශවයෙහි රූප 500ක් පමණ චිත්‍රණය කර තිබුණ බව සීගිරි ගීයකින් ප්‍රකාශ වේ. සීගිරියේ සිතුවම් චිත්‍රණය කොට ඇත්තේ පර්වතයේ බදාම යොදා සකස් කර ගත් පෘෂ්ඨයක් මතය. පොදුවේ සලකා බලන විට හුඹස් මැටි, කිරි මැටි, වැලි, පිදුරු, පොල් කොහු සහ කුඩා ශාඛ කෙඳි, දහයියා, හුණු ආදිය සහිත බදාම ඒ සඳහා භාවිත කොට ඇත. H.C.P. Bell මහතා සීගිරි චිත්‍ර ටෙම්පරා ක්‍රමයට අයත් බව මුලින් සඳහන් කළ අතර පසුව ඒවා ප්‍රෙස්කෝ ක්‍රමයට අයත් බව සඳහන් කළේය. නමුත් සමහරක් විද්වතුන්ගේ මතය ප්‍රෙස්කෝ සහ ටෙම්පරා යන ක්‍රම දෙක සම්මිශ්‍රණයෙන් සකස් කර ගත් දේශීය ක්‍රමයකට මේ චිත්‍ර ඇඳ ඇති බවයි.
                        
සීගිරි සිතුවම් සඳහා යොදාගෙන ඇත්තේ රතු, කහ, කොළ, සුදු, තැඹිලි සහ කළු වර්ණයන් ය. නිල් පාට භාවිතා නොකිරීම විශේෂත්වයක් ලෙස සැලකේ. වර්ණ නිල් පැහැ කර ගැනීමේදී රතු, කහ, සහ කොළ පොළවෙන් ලබාගත් මැටි වර්ග වලින් ද, සුදු පැහැය හුණු හෝ බෙලි කටු වලින් ද, රතු පැහැය රත් හිරියල් වලින් ද, කළු පැහැය අඟුරු වලින් ද ලබා ගෙන ඇති බව සැලකේ.
                        
සීගිරි සිතුවම්වල චිත්‍රිත කතුන් කාශ්‍යප රජුගේ බිසවුන් සහ කුමරියන් බවත්, ඔවුන් සීගිරියට නුදුරින් පිහිටි පිදුරංගල විහාරය වන්දනා පිණිස යන බවත් H.C.P. Bell මහතාගේ අදහසයි. චිත්‍රවල නිතඹින් පහල කොටස වලාකුළෙන් වැසී ඇත්තේ ඔවුනට දේවත්වය ආරෝපණය කිරීමට විය හැකි බවද පැවසේ. සෙනරත් පරණවිතාන මහතා කුවේර හා ආලකමන්දා සංකල්පය අනුව යමින් රන්වන් ස්ත්‍රීන්ගෙන් විජ්ජුලතාවන් ද, මහනෙල්වන් ස්ත්‍රීන්ගෙන් මේඝවලාවන් ද, නිරූපණය කෙරෙන බව පවසයි.
                        
සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ ම නෙත් සිත් මනමෝහනය කළා වූ ජාතියේ ජීවනාලිය බඳු සීගිරි පර්වත රාජධානිය අනාගත පරම්පරාව උදෙසා සුරක්ෂිත කර තැබීම ශ්‍රී ලාංකේය අප කාගෙත් වගකීම බව සිහි තබාගත යුතු කරුණකි.
                                                                                                            ඉරෝෂි දේවිකා අපරැක්කේ

No comments:

Post a Comment