අවවාදය


අවවාදය හා ආදර්ශය

අවවාද කියන්නෙ මොනවද?

පොඩි කාලේ යන්න ලියන්න ඉගෙන ගන්නත් කලින් ඉඳන් අපිට වැඩිහිටියො කියලා දුන්න එක දෙයක් තමයි වැඩිහිටියන්ගෙ අවවාද පිළිගන්න ඕන කියන එක.අවවාද කියන්නෙ ඉතින්මේ ලෝකෙ අපිට වඩා යම් යම් අංශ වලින් වැඩි අත්දැකීම් ප්‍රමාණයක් තියෙන පුද්ගලයෝ අපට එයාලගේ අත්දැකීම් වලින් ඉගෙනගත්තු පාඩම් ආශ්‍රයෙන් ලබාදෙන උපදෙස් නේ... ඒ ඒ පාඩම් අනුව අවවාද එකිනෙකට වෙනස් වෙනවා නේ. යමක් කරන්න කලින් ඒක ඒ විදහට කරොත් සිද්ධ වෙන්න පුළුවන් දේ ගැන, අත්දැකීම් වැඩි පුද්ගලයා තුල තිබෙන අදහස නිසා, ඔයා මෙහෙම කරොත් හොඳයි, අරහෙම කරොත් හොඳයි වගේ කියන දේවල් සරල අවවාද විදිහට අපට ගන්න පුළුවන්.

කෙනෙක්ට අපට අවවාදයක් දෙන්න පුළුවන් වෙන්නත්, ඒ අවවාදෙ අපට පිළිගන්න පුළුවන් වෙන්නත් ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක් වෙන්න ඕන කියල ද ඔයාට හිතෙන්නෙ? ඒ පුද්ගලයා වයසින් වැඩි වෙන එක ප්‍රමාණවත් කියලා තමයි අපට පොඩි කාලෙ, ඒ කිව්වෙ ප්‍රාථමික පන්ති වල ඉන්න කාලෙ ගොඩක් වෙලාවට කියලා දුන්නෙ. අපි හා කිව්වා.තව ටිකක් ලොකු වෙද්දි අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලත් කියලා දුන්නා. අපි ආයෙත් හා කිව්වා.

එතකොට මේ ආදර්ශ කියන්නෙ මොනවද?

ආදර්ශ කියන්නෙ කෙනෙක් අපට වචනෙන් අවවාද දුන්නත් නැතත්, එයා ජීවත් වෙන විදිහ දැකල එයාගෙ ජීවිතේම අපිට අවවාදයක් වෙන එක. ආදර්ශය කියන්නෙ අවවාද ක්‍රියාවෙන්ම පෙන්වීම කියන්නත් පුළුවන්.ලොකුවට කතා කරන්න අපි කාට කාටත් පුළුවන් වුනත්, ලොකුවට වැඩ කරන්න පුළුවන් අපි කීයෙන් කී දෙනාටද? වයසින් අඩු වුනත් වැඩි වුනත්, කෙනෙක් ආදර්ශයෙන් යමක් කරලා පෙන්වනවා කියන එක තරං වටින දෙයක් තවත් තියෙනවද? හැබැයි ලෝකෙට පේන්න විතරක් ආදර්ශමත් විදිහට ඉන්න එක ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ. මොකද ඒ රඟපෑම කරන්න පුළුවන් ටික කාලයක් විතරක් නිසා. උදාහරණයක් විදිහටකට්ටියගෙ වැරදි හොය හොය, හිතින් බැන බැන, පිටට පේන්න සේරටම කරුණාවෙන් සලකන්න හැදුවට කෙනෙක් ආදර්ශමත් වෙන්නෙ නැහැ.

ඔයාටයි මටයි වටේ ලෝකෙ හැමෝටම බොරු කරන්න පුළුවන්. ඒත් අපි කොහොමද අපිටම බොරු කරගන්නෙ? ඔයා මොන දේ කරත්, හිතුවත්, ඒ දේවල් සේරම එකින් එක හරියටම මොනවද, ඔයා ඒවා කරන්නෙ ඇයි කියලා ඔයාට වඩා දන්න කෙනෙක් තවත් ඉන්නවද? ආදර්ශය කියන දේ අපේ හදවතේ ඇතුලෙන්ම එන්න ඕන දෙයක්. හෘදසාක්ෂිය කියන්නෙ ඇත්තටම හැමතිස්සෙම අපේ ඇතුලෙ තියෙන දෙයක් කියලා අපි මතකයේ තියාගන්න ඕනමයි. මොකද කල කල දේ පල පල දේ වෙන්නෙත් මේ හෘදසාක්ෂිය හරහා නිසා. දෙවියොන්ට අහස උඩ ඉඳගෙන ඔයයි මමයි කරන දේවල් පොත් වල ලිය ලිය එක එකට අපිට ආපස්සට ප්‍රතිවිපාක එවන එක ටිකක් අමාරු වැඩක් නිසා තමයි අපි හැමෝටම හෘදසාක්ෂියක් කියලා එකක් දීලා තියෙන්නෙ. හෘදසාක්ෂිය කියන්නෙ හරිම බලවත් මැෂින් එකක් වගේ දෙයක්. එයා සේරම බලන් ඉඳලා, ගානට වෙලාවට අවශ්‍ය දේවල් ටික අපි කරන විදිහටම අපිට ආපස්සට දෙනවා, එකක්වත් අඩු නැතුව. ඒකත් මෙහෙමම මතක තියාගමු.

ඒ වගේම තමයි මේ ජීවිතේ අපි ගොඩක් දේවල් ඉගෙනගන්න ඉගෙනගන්න, වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න, අපේ චරිතයට එකතු කරගන්න ගතිගුණ අතරේ වඩාත්ම වැදගත් ගුණයක් තමයි නිහතමානීත්වය කියන්නෙ. නිහතමානී වෙනවා කියන්නෙ හැම කෙනාගෙම ඉස්සරහා ඔළුව පහත් කරන එක නෙවෙයි. අනෙක් අයට වඩා මං කොච්චර දේවල් දැනගත්තත්, ඉගෙනගත්තත්, මගේ ලඟ සල්ලියි බලයයි කොච්චර තිබුණත්, ඒ කිසිම දේකින් මගේ වටිනාකම වැඩි වෙන්නෙ නැහැ, වටිනාකම කාගෙත් කොයිවෙලාවෙත් සමානයි. කියන එක තේරුම් අරගෙන හැම කෙනාටම ඔයා ඔයාට සලකනවා වගේම හොඳින් සලකන එක තමයි නියම නිහතමානීත්වය කියන්නෙ. එතකොට අපි කාටවත් හෘදසාක්ෂියට බයවෙන්න හේතුවක් ඇති වෙන්නෙත් නැහැ.

අවවාද කියන්නෙ ඉතාම හොඳ දෙයක්. අවවාද ආදර්ශයත් එක්කම එනවා නං තවත් හොඳයි. අවවාද, ආදර්ශත් එක්කම අපිට නිහතමානීත් වෙන්න පුළුවන් නං මේ ලෝකෙ අපි හැමෝටම සතුට ලඟා කරගන්න වැඩි කාලයක් යන එකක් නැහැ. චුට්ටක් හිතන්න...

No comments:

Post a Comment