මා ව පිස්සු වට්ටවන්නට ඔබට අවසර දෙමි !!



ඔයාගේ ජීවිතේමේ දැන් වෙද්දි තියෙන විඳවීම්, ඒ කිව්වෙ අර එපා කරපු, දරාගන්න බැරි දේවල් ගොඩාරියක් තියෙනවා නේද?ඒවා ඔයා ඇත්තටම හදවතින් මවිඳිනවා කියලා ඔයා දන්නවද?
මේ කතාව බැලූ බැල්මට පරස්පර විරෝධී කියලා ඔයාට හිතේවි...මට වද දෙන දේවල් වලින් මං මොකටද සතුටු වෙන්නෙ? මට එපා කරපු දේවල් දැක දැක මං ඒවා සතුටින් විඳිනවා කියන්නෙ කොහොමද? ඒක මහ පුදුම කතාවක්නෙ!!

ඇත්තම කිව්වොත් මේ කතාව මුලින් ඇහුවම මට හිතුනෙත් ඒ විදිහටමයි. අනේ ඇත්තට ඒ කතාව කියපු කෙනත් එක්ක මට ආපු තරහ.... !!!

ඒත් ටිකක් වෙලා යද්දි මගේ තරහ නිවුනා. මට එයා කියපු ඒ පොඩි දේට මෙච්චර තරහ ගියේ ඇයි කියලා හිතුනා. තව ටිකක් වෙලා යද්දි මට තේරුනා ඒ කතාවෙ පොඩි ඇත්තකුත් තියෙනවා කියලා. මගේ ජීවිතේ අත්දැකීම් මතක් කර කර හිතින් ආපස්සට යද්දී මට පේන්න ගත්තා පොඩි නෙවෙයි ඒක ඇත්තටම අපි හැමෝගෙම ජීවිත වල අපි පිළිගන්න කැමති නැති ලොකුම ඇත්තක් කියලා..

ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගෙ ජීවිතෙ ඔයා චුට්ටක්වත් අකැමැති මිනිස්සු කී දෙනෙක් එක්ක මූණට හිනාවෙලා චාටු දදා කතා කරලා ගෙදර ඇවිත් හිතින් හරි පවුලෙ අයත් එක්ක හරි එයාට මහ එපා කරපු විදිහකට බනිනවද? අපෝ! එයාගෙ කතාව නං කොහොමද?? උපාසක නෝනා වගේ! ඒ වුනාට කරන වැඩ! අනේ අම්මපා මටත් සිද්ධ වුනානේ මේ වගේ උන්ගෙ විකාර බල බල ඉන්න!

අන්න එහෙමයි අපි අපිව හොඳ චරිත කරලා අනෙක් අයව හිතින් එල්ලුම්ගස් යවන්නෙ. ඇත්තම කතාව තමයි අපි අපි කැමති නැතිමිනිස්සුත් එක්ක මූණට හොඳට කතා කරලා, එයාලා නැති තැන එයාලට බනින එක අපිට හරි සතුටක්, ඒ කිව්වෙ fun එකක්! අපිට එයාලගෙ කොච්චර හොඳ දේවල් තිබ්බත් ඒවා නං පේන්නෙ නැහැ. සමහර වෙලාවට හොඳ දේවල් පෙනුනත්, ඒ යටිනුත් මොනවහරි යටිකූට්ටු වැඩ ඇති කියලා අපි අපේ හිතේ එයාලා ගැන තියෙන රූපය සාධාරණීකරණය කරගන්නවා. ඒ තමයි අපේ හැටි!

එතකොට අපි ඇත්තටම අපට චුට්ටක්වත් පේන්න බැරි මිනිස්සුන්ව අපේ වටේ ආදරෙන් තියාගෙන, හිතින් එයාලට බැන බැන කරන්නේ ජීවිත කාලෙ පුරාම එයාලගේ චරිත වලින් fun එකක් ගන්න එක! මේක සරලම සරල උදාහරණයක් විතරයි. අපිට හැමතිස්සෙම ඕනෙ අනෙක් අයට මොනවට හරි බැන බැන ඉන්න. අපි කල යුතු වැඩේ කරන එක කෙසේ වෙතත් අනෙක් අයව අපේ හිත්වල අර ලොකු උසාවි කූඩුවට ගෙන්නන්න හේතුවක් හොයන එක තමයි අපේ ජීවිතෙ ලොකුම වැඩේ.

අපි අකැමැතිම වැඩක් තමයි අපේ ජීවිතේ අපිට වැරදුණු තැන් වලට වගකීම භාරගන්න එක. මට මෙහෙම වුනේ අරයා නිසා! මං එහෙම කරේ මෙයා නිසා! එයා මට හොඳට සැලකුවෙ නෑ! එයාලාට මං කොච්චර දේවල් කරාද? ඔක්කොම ගඟට ඉනි කැපුවා වගේ. මගේම කරුමෙ තමයි! මේ වගේ දේවල් සමහරු කටින් හැමෝටම ඇහෙන්න කියනවා, ඒත් ගොඩක් අය මේවා කියන්නෙ තමන්ගෙ හිතින්. කොච්චර පන්සල් පල්ලි කෝවිල් ගියත් නොගියත්, හැමතිස්සෙම අපේ දුකට, වැරදුණු තැන් වලට අනෙක් අය වග කියන්න ඕනෙ කියලා අපේ හිත සනසගන්න තමයි අපි පොඩි කාලෙ ඉඳන් පුරුදු වෙන්නෙ. එතකොට නිතරම බාහිර ලෝකෙට පෙනුණත් අපි ජීවිතේ විඳවනවා කියලා, ඇත්තටම අපි කරන්නෙ ජීවිතේ වැරදුණු තැන් වල වගකීම ලෝකෙට පටවලා අපි නිවැරදියි කියලා හිත හදාගන්න එක, සතුටු වෙන එක.

එතකොට දැන් අපි බනින්නෙ කාටද? අපේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, නෝනට, මහත්තයට,කෙල්ලට, කොල්ලට, යාළුවොන්ට, හතුරොන්ට, නීති වලට, ඉස්කෝලෙට, ගුරුවරුන්ට, පොලේ එළවළු විකුණන මනුස්සයට, කාර්යාලෙට, ආණ්ඩුවට, උසස් නිලධාරීන්ට, පහත් නිලධාරීන්ට, ආගම් වලට, විරුද්ධ පක්ෂෙට, පේන්න අඳින නිලියොන්ට, දික්කසාද වෙන නළුවොන්ට, එහා ගෙදර ඇන්ටිට,  විරාට් කෝලිට, ඇයි එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට!! අර කතාවක් තියෙනවනෙ ප්‍රශ්ණයක් මැද්දෙදි ඔයා හිනාවෙනවා නං ඒකට හේතුව ඔයා දැනටමත් ඒකට වරද පටවන්න කෙනෙක් ඔළුවෙන් හොයාගෙන කියලා. ඒ කතාව අපේ කට්ටියගෙ හැටියට ටිකක් අළුත් කරොත්, ප්‍රශ්ණයක් එනකොට ලංකාවෙ කෙනෙක් නං ඒකට බනින්න මනුස්සයෙක්ව අනිවාර්යයෙන් හොයාගන්නවා, හැබැයි කවදාවත් ඒ තමන් නං නෙවෙයි!

අපි ගොඩක් අයගෙ ජීවිත වල කොච්චර දේවල් තිබුණත් කිසිම තෘප්තියක් නැති වෙලා තියෙන්නෙ අපේම වැරදි නිසයි. හරියටම කිව්වොත් අපේම වැරදි මානසිකත්වෙ නිසයි. මුලින්ම අපේ ජීවිත වලට අනෙක් අය වග කියන්න ඕන කියන මානසිකත්වෙ ඔළුවෙන් අයින් කරගන්න ඕනෙ. හැමවෙලේම කාටවත් වැරදි පටව පටව ජීවිතේ ගෙවලා ලැබෙන තාවකාලික පොඩි fun එකට වඩා, මැරෙන්නෙ කොයි වෙලාවෙද කියලා දන්නෙ නැතුව අපි මේ ගෙවන ජීවිතේ හැම තත්ත්පරයක්ම හැමෝම එක්ක හිතේ නිදහසේ, සාමකාමීව, තෘප්තිමත්ව, සතුටින් ගෙවන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් ඇත්තටම තවත් තියෙනවද?

ජීවිතේ ඔයාට ලැබෙන දේවල් කොච්චර පොඩි වුනත්, මුණගැහෙන මිනිස්සු කොච්චර අසම්පූර්ණ වුනත්, ඒ විදිහට හරි ඔයාට ඒ දේවල් ලැබෙන එක ගැන ජීවිතේට ස්තූතිවන්ත වෙන්න. මොකද ඔයා, මම, අපි හැමෝම අංගසම්පූර්ණ මිනිස්සු නෙවෙයි නිසා. ඔයාට තියෙන හොඳ ගුණයක් තවත් කෙනෙක් ලඟ නැත්තං ඒ ගුණය හදාගන්න ඔයා එයාට උදව් කරන්න. එයාගෙ ලඟ තියෙන හොඳ ගුණයක් ඔයාගෙ ලඟ නැත්තං ඒක ඔයාගෙ චරිතෙට එකතු කරගන්න එයාගෙන් උදව් ගන්න.

අන්න ඒ විදිහට ඔයාට පුළුවන් හැම වෙලාවෙම හිතන්න, වැඩ කරන්න ගත්තොත්, ඔයාගෙ ජීවිතෙ දුක හිතෙන තරහ යන වැරදුණු තැන් වල වගකීම වෙන කෙනෙක් ගත යුතු ව තිබුණත්, එයාට හිතින් බැන බැන ඉන්නෙ නැතුව,හරි, ඒක ඉවරයි! වැරැද්ද කාගෙවුනත් කමක් නෑ! ඒ මනුස්සයා එයාගෙ මානසිකත්වෙ හැටියට ඒ වෙලාවෙ කරන්න පුළුවන් උපරිමය කරා මං වගේම. ඒ පාඩමත් එක්ක දැන් මං මොකක්ද කරන්න ඕන?කියලා ඉස්සරහට කරන්න ඕන දේවල් ගැන හොඳට අවබෝධයෙන් තීරණ ගත්තොත්, ඔයා ඔයාගෙ ඉලක්ක වලට යන එක මේ ලෝකෙ කාටවත් නවත්තන්න බෑ!

මේ සමාජෙ කිසිම කෙනෙක්ට, කිසිම දෙයකට, ඔයාගෙ හිතේ නිදහසට බාධා කරන්න බැහැ ඔයාගෙ අවසරයක් නැතුව. එහෙම යම් කිසි දෙයක් හරි කෙනෙක් හරි බාධා කරනවනං, පැත්තකට ගිහින් ටිකක් හිතන්න, මං ඇයි එයාට හිතින් අවසර දෙන්නෙ මාව තරහගස්සවන්න, මාව දුර්වල කරන්න, වට්ටන්න? මගේ මානසික නිදහස මේ තරං දුර්වලද, මෙච්චර පොඩි දේකටත් ඒක නැති කරන්න පුළුවන් තරං? එහෙම හිතලා සැර විදිහට එයාට උත්තර දෙන්න යන්නෙ නැතුව, එයා කියන දේ හොඳින් අහන්න. ප්‍රශ්නයක් විසඳන්න අපි තරහින් කතා කළ යුතු නැහැ. විඳවීම් විඳින්න අපි ස්වාභාවිකවම හරි කැමති බව නිතරම මතක තියාගන්න. එතකොට කොයි මොහොතක හරි ඔයාගෙ හිත ඒ පැත්තට නැවෙන්න යනකොටම එතකොට ඔයාට තේරෙන්න ගනීවි.

හිත පිරිසිදුවට නිරවුල්ව තියාගන්න තාක් කල්, ඒ පිරිසිදු බව, ඒ නිරවුල් බව, ඔයාගෙ බාහිර ජීවිතෙනුත් ඔයාට වගේම ඔයාගෙ වටේ ඉන්න හැමෝටමත් පේන්න ගනීවි. ඒ මොකද කියනවා නං, ඔයාගෙ බාහිර ලෝකෙ කියන්නෙ ඔයාගෙ හිතේ ඒ කිව්වෙ අභ්‍යන්තර ලෝකෙ හැටි ඔයාටම පේන කණ්ණාඩියක් විතරයි...

No comments:

Post a Comment