අනුරාධපුරේ

මහගල් කුට්ටි බැඳ නිමවූ වැව්    ඉවුරේ.
දෙනයන සිසාරා යන සිසිලක්   පැතිරේ.
තිසා වැව් තලය නැළවෙන සඳ  වතුරේ.
සුන්දර දසුන් දුටුවෙමි       අනුරාධපුරේ.

කෙතරම් නපුරු සිතකට වුව      දුටු කලෙක.
දැහැනට පොළඹවන විස්මිත      පිළිමයෙක.
අඩවන් දෙනෙත මැව් හැටි මහ කළු ගලෙක.
දස්කම තවම මට අදහා ගත         නොහැක.

ගිනියම් නගරයේ කරවෙවී               රෑ දිවා.
තුන් තිස් පැයේ කොන්ක්‍රිට් අතර  දිවි ගෙවා.
මහමෙව්නා පොළවෙ අසරණව දණ හොවා.
විස්මිත රුව වඳී නෙත් බොඳව    බොදුනුවා.


පොහෝ දිනට බබළන           අනුරාධපුරේ.
මහ මෙවුනාවෙ තෙද ඇති ගල් කණු අතරේ.
රන්මැලි සෑයෙ කොත බැබළෙයි   රෑ අඳුරේ.
ගතසිත දෙකම පරගැති නින්දෙන්  ඇහැරේ.

කැටයම් - පිළිම - මන්දිර - නැගුම පිළිබඳ.
උපදෙස් ගත යුතුද අප ලොවට වැඳ    වැඳ.
පෙර ගත සවිය දැන් මේ බිමෙහි   නැතිවද.
ලංකා මවුනි ඒ දූ පුතුන්            කොයිබද?

සිරි ලංකා පොළව සරු කළ අගනුවර.
වටිනාකමක් නොම දත් පරපුර  අතර.
සපුමල් කුමරුවන් බිහි වේවිද   කවර.
ලස්සන සිහිනයකි අද දින    අනුරපුර.

අඩි ගණනක් උසැති ගල් පර ඔප කරවා.
ලියකම් රූ රටා නෙලමින් හැඩ   කරවා.
සඳකඩ පහණ මුරගල් පියගැට     සදවා.
කළ විස්කම් දෙවන පරපුරකට  බැරුවා.

ජීවිත පුදා සියවස් ගණනක්           විරුවෝ.
ජාතිය හැදූ හැටි නොදනිති       අද දරුවෝ.
සෙල් ලිපි මුරගලින් ලිප් ගල් බැඳි මරුවෝ.
අනුරාපුරේ මලගම සටහන්       කෙරුවෝ.

මිලියන ගණන් ණය වී ලොවට    යට කළ.
අබිමානයකි පෙර නෑ සියන්          ඉදි කළ.
ලස්සන අනුරපුර ගොඩ නගා         ඉදිකළ.
ජාතියෙ පුතුන් නිදියති නොයෙක් තැන්වල.

                        ඉන්දික හිරිමුතුගොඩ

No comments:

Post a Comment