මේ කොයි
යන්නේ......
හා හා පුරා කියලා ඕන් බක් මහේ
උණුසුම යන්නත් කලින් ආපු පුන් පොහෝ දවසෙ සිල් ඇත්තො ඔක්කොම වගේ නෑ ගමන් යාම පැත්තක
තියලා සිල් ගන්න ඇවිත් හිටියා. වෙනදට නම් ඉතින් තරුණ ළමයි ටිකකුත් එනවා සිල් ගන්න.
අවුරුද්දනෙ ඉතින්. නෑ ගමන් නැතැයි කියලා හිතුනා. වෙනදා පුරුදු විදියටම අපි සිල්
පවාරලා ඉවර වෙන වෙලාව ලං වෙද්දි බුදුන් වැඳගන්න කියලා එක්කෙනා දෙන්නා පන්සලට පිය
නගනවා. පුංචි පැටවු වඩා ගත්තු අම්මලා තාත්තලා, වයසක උදවිය එහෙමත් ආවා.
හවස් වෙන්න හවස් වෙන්න තරුණ පහේ ළමයිත් ඇදෙන්න ගත්තා.
අනේ අනිච්චං කියලා හිතුනා සංසාරේ....
රංචු ගැහිලා ආව කොළු ගැටවු
ටික බලන්න අප්පිරියාවයි. පාට පාට බාජු වගේ ෂර්ට් ඇඳලා හැලෙන්න ඔන්න මෙන්න තියෙන
කලිසම් ඇඳලා අතේ කනේ සරුව පිත්තල කෑලි බෑලි එල්ලගෙන කොණ්ඩෙ පාට කරගෙන දිගට
වවාගෙන..... අනේ මේ දරුවන්ට අම්මා තාත්තා නැද්ද කියලා හිතෙනවා. ගෙවල් වලින් එළියට
පහලියට බහිද්දී මේ ළමයි කොහාට ද යන්නෙ කොහොමද ඇඳන් යන්නෙ කාත් එක්කද යන්නෙ කියලවත්
හොයලා බලන්න බැරි නම් මොකටද අම්ම තාත්තෙක් වෙලා. අඩුම තරමෙ මේ ළමයින්ටවත් තේරෙන්නෙ
නැද්ද මෙහෙම හැසිරෙන කොට අම්මා තාත්තාටත් අවනම්බුවක් වෙනවා කියලා.
හවස් වෙද්දි කුරුළු පාරාදීසෙ
වගෙයි පන්සල් වත්ත. කළුවර අහු මුළු වල තරුණ ගැටවු කුරුමානම් අල්ලනවා. ඒ අස්සෙ තරුණ
ගැටිස්සියො කීපදෙනෙකුත් මේවට උල් පන්දම් දෙනවා. ඒ ගෑනු ළමයි ඇඳන් උන්න ඇඳුම් වලට
ගල් පිළිමත් වෙව්ලනවා කියලයි උපාසක ඇත්තො කතා කෙරුවෙ.
සමහර ගෑණු දැරිවියො නම් ලැජ්ජ
බය වැහෙන්න ඇඳුම් පැළඳුම් ඇඳලා තිබුණා. ඒ අතරෙ හිටියා උඩටත් නැති පහලටත් නැති
ඇඳුම් ඇඳපු දැරිවියො ටිකක්. ඒ ඇඳුම් ඇන්ඳට වැඩිය හොඳයි නෑඳම උන්න නම්. ලොකු කරවල්
තියෙන හැට්ටයි, හතර වටෙන්ම පළා ගත්තු සායවලුයි මදිවට සමහර ඇඳුම් වියත් දෙක තුනක්වත්
දිග නෑ. දැන් ඉන්න ගෑණු දැරිවියන්ට නම් අනේ අම්මපා ලැජ්ජ බය කීයක හරි කඩෙන්වත්
අරන් දෙන්න වෙයි වගේ.
ගෑණු ළමයි පැත්තක තියමුකො
ඉතින්. රාත්තිරි වෙද්දි ආපු තරුණ අම්මලා ටික ඊට එහා. අනේ මෙහෙමත් අම්මලා ඉන්නවනේ
කියලා හිතුනා. ළමයි කර පින්නාගෙන එනකොටවත් හිතෙනව නම් තමුන් දැන් අම්ම කෙනෙක්
වැඩිහිටියෙක් කියලා, ඒක මොන තරම් ආදර්ශයක් වෙයිද අපේ ඉදිරි පරම්පරාවට.
අපි ඒ කාලෙ කොයිතරම් සුන්දර
ළමා කාලයක් ද ගෙවුවෙ කියලා මතක් වෙන්නෙ මේ නාඩගම් දකින කොට තමයි. අම්මා තාත්තා
ආදර්ශවත් වෙන්න වෙන්න තමයි යහපත් දරුවො හැදෙන්නෙ. අද කාලෙ අම්මා කවුද දුව කවුද
කියලා හොයා ගන්න නම් ඉතින් සෑහෙන වෙලාවක් යනවා. ඒ තරමටම මොස්තර වෙනස් වෙලා.
අම්මලා දිහා බලලා දුවලා
හැදෙන්නෙයි කියලා කොහොම කියන්නද කියලා හිතෙන්නෙ මේ නාඩගම් දකින කොට තමයි. අම්මෙක්
තාත්තෙක් වුණාමවත් අඩු ගානෙ දරුවන්ට ආදර්ශවත් වෙන විදියට ජීවත් වෙන්නෙ නැත්නම්
කොහොමද අපි යහපත් ලෝකයක් ගොඩ නගා ගන්නෙ.
ඒ ආපු දරුවො බොහොමයක් එන්නන්
වාලෙ ආපු බව තේරුණේ ටික වෙලාවක් ගියහමයි. අනේ තෙල් මල් ටිකක්වත් නැතුව මොකටද මේ
පෝය දවසෙ පන්සල් ආවෙ කියලා වයසක ඇත්තෙක් අහනවා මගේ කනට ඇහුණා. ඒ කතාවෙත් වරදක් නෑ
කියලා අපි කාට කාටත් හිතුණා. අඩුම ගානෙ
යන්නෙ කොහාටද මොකටද කියලවත් හැඟීමක් නැති අනාගත පරම්පරාවක්ද අපි මේ බිහි කරන්නෙ.
තුන්සිය හැට පස් දවසකට පස්සෙ
මේ සිංහල අවුරුද්දක් ඇවිත් සිංහල චාරිත්‍ර මතක් කරලා දෙන්නෙ කාටද ඇත්තටම. අඩුම
තරමෙ තමන්ගෙ ජාතිය ගැනවත් කැක්කුමක් හැඟීමක් ඇති කරගන්නෙ නැත්නම් මොකටද අපි
දියුණුයි දියුණුයි කියලා ලෝකෙට අණ බෙර ගහන්නෙ. අපි දියුණු වෙන්න ඕන සල්ලි බාගෙන්
විතරද, ගුණ යහපත්කම් සල්ලි වලට ගන්න පුළුවන් කියලා හිතන ජාතියක් ද අපි අනාගතේට
දායාද කරන්නෙ. මේවා දකින්න අපි තවම ජීවත් වෙන එකයි පව කියලයි කාට කාටත් හිතුනෙ.
මේ අවවාදෙ තරුණ දුවා
දරුවන්ටයි. හෙට අනිද්දා වෙන කොට ආදරණීය අම්මෙක් තාත්තෙක් වෙන්න ඉන්න එක ගැනවත්
මතක් කරලා ගුණ යහපත් විදියට ජීවත් වෙන්න. මොකද එහෙම නොවුණොත් හෙට උපදින ඒ දරුවනුත්
ඔය මාර්ගයම තෝර ගනීවි. එතකොට සුසුම්ලන්නවත් පසුතැවෙන්නවත් ඉඩ තියා ගන්න එපා. අශ්වයා
ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් නෑ කියලා අපේ වැඩිහිටියො කිවුවෙ කට කහනවට නෙමෙයි
කියලා තේරෙන්නෙ මේව දකින කොට තමයි.
ගාල්ලෙ අත්තම්මා.
No comments:
Post a Comment